සිංහලෙන් ඩිසයින් #05 [සෑම අයෙකුම ඩිසයිනර් කෙනෙකි !]

සෑම අයෙකුම ඩිසයිනර් කෙනෙකි !

අපගේ ජීවිතවල යම් යම් අවස්ථාවන්හිදී අප සියල්ලෝම නේකාකාර නිර්මාණයන් සඳහා දායක වී ඇත්තෙමු. කුඩා අවදියේදී වැලි කෝම්පිට්ටු හැදුවේත්, කුරුම්බැට්ටි මැෂිම කරකෝමින් ගමටම ඇඳුම් මැසුවේත්, පාසල් වියේදී අත්වැඩ පාඩමට මැටියෙන් ඉබි පැටියෙකු හැදුවේත්, රබර් ඇට වලින් රූං පෙති හැදුවේත්, ඉන්පසු කලෙක මිතු‌රෙකුගේ මංගල දිනයේ තොරණ අලංකාර කළේත් ඒ අපතුල සිටින නිර්මාණ ශිල්පියායි. වැඩිහිටි ජීවිතයේ සංකීර්ණත්වය හමුවේ වෙනත් දේට දෙන ප්‍රමුඛත්වය නිසා අපතුල සිටින නිර්මාණ ශිල්පියා මතුවී නොපෙනුනත් නිමැවුමක් අවසන ලබන තෘප්තිය කුමන ආකාරදැයි, කෙතරම් වේදැයි යනු අපි සියලු දෙනාම දිවියේ කෙදිනක හෝ අත්විඳ ඇත්තෙමු.

නිමැවුමක් නිසා මනුෂ්‍යයා ලබන මේ තෘප්තිය නම් කුමක්ද? යමක් නිමැවීමෙන් මිනිසා තෘප්තිමත් වන්නේ ඇයි? නිර්මාණ ශිල්පියෙකු සඳහා මේවා කේන්ද්‍රීය දාර්ශනික ප්‍රශ්න වෙයි. එහෙයින් අපි නිමැවීම පිටුපස ඇති දහම කුමක්දැයි ග්‍රහණය කරගන්නට උත්සාහයක් දරමු.

අප විසින් නිමවන දෙය ලොවෙහි ඇති අන් සියලු දෙයට පරිබාහිර ව පරිපූර්ණ වශයෙන් අපට අනුකූල ස්වභාවයක් දරයි. එය මුලුමනින්ම අපගේ පාලනය යටතේ තිබේ. එහෙයින් අපට එහි ඇති ඉතා සියුම් detail එකක් කෙරෙහි පවා ආධිපත්‍යයක් පවතියි. එහි සෑම අංශුවක් පාහේම අපගේ සැලසුම් කිරීම්, සකස් කිරීම්, ඒ හා බැඳුණු චේතනාවන් සහ නිර්මාණශීලීත්වය විහිදී විසිරී පවතියි. මෙසේ පරිපූර්ණ වශයෙන් අපට අවශ්‍ය පරිදි සැලසුම් කළ හැකි ස්වභාවය, පරිපූර්ණ වශයෙන් අපගේ වසඟයෙහි පවතින ස්වභාවය අපට ඒ කෙරෙහි දැඩි ආධිපත්‍යයක් ජනනය කරන අතර හිමිකාරීත්වය පිළිබඳ හැඟීම වර්ධනය කරයි. මේ අධිපතිවාදී හිමිකාරීත්වය අපට තෘප්තියක් සහ සැපයක් ගෙනදෙයි. සාමාන්‍ය තත්ව යටතේදී මේ හිමිකාරීත්වය පිළිබඳ හැඟීම වෙනකෙකු විසින් නිමවා අප විසින් මිලයට ගන්නා ලද දෙයක් කෙරෙහි මෙතරම් තදින් බැඳී බලපවත්වන්නේ නැත.

චිත්‍ර ශිල්පීන් කුමන මිලක් යටතේවත් තම චිත්‍ර අලෙවි නොකරන අවස්ථා ඉතා බහුලය. අනෙකුත් නිර්මාණ ශිල්පීන් සම්බන්ධවද එවැනි අවස්ථා අප දැක තිබේ. නිර්මාණ ශිල්පියෙකු එවැනි චර්යාවක් දක්වන්නට හේතුව කුමක්ද? තම නිර්මාණය සමඟ ආත්මීය ලෙසින් අනන්‍ය වීමත්, තවදුරටත් වර්ධනය කිරීමක් අවශ්‍ය නැති පරිපූර්ණත්වයක් එය විසින් සාක්ෂාත් කර ඇතැයි ගැනීමත් එවැනි චර්යාවන් පිටුපස බොහෝවිට දකින්නට ලැබේ. තවදුරටත් කියන්නේ නම් යම් අරමුණුගත නිර්මාණාවේශයක් තුලට නැවත නැවතත් සමවැදීමේ නොහැකියාව එයින් කියැවේ.

තම නිර්මාණය සමඟ ආත්මීය ලෙසින් බැඳෙන්නෝ කලා ශිල්පියෝය. ඩිසයින් යනු එය නොවේ. ඩිසයිනර් කෙනෙකුට සෑම විටම තම නිර්මාණය සමඟ විශ්ලේෂණීය විග්‍රහයක් පවතියි. එහෙයින් කොපමණ තරම් දියුණු කළත් එහි තව තවත් කුමන හෝ දොසක් දකින්නට හෙතෙම සමත්ය. එහෙයින් ඒ දොස් නැති තවදුරටත් දියුණු කළ නිර්මාණයක් හා බැඳෙනු විනා හෙතෙම කිසිම විටෙක එක් අදියරක් දක්වා පමණක් දියුණු වූ දොස් සහිත නිමැවුමකට ලොබ නොකරයි. තම නිමැවුමක නිවැරදි කළ හැකි ප්‍රමාණවත් තරමේ දොසක් දකින සැණින් ඔහු එය අතීතයට අත්හැර දමයි. එහි අනාගතය වඩ වඩාත් දියුණු කරන්නටම සිත යොමයි. එහෙයින් කිසිම විටෙක දියුණුව නොනවතී. නිර්මාණය හා ඇතිවන මානසික බැඳීම ප්‍රගමනය වෙයි. නිවැරදිව ඩිසයින් චින්තනය ප්‍රගුණ කිරීමේදී අනන්‍ය වීමකින් තොරව (අනන්‍ය වීම කළමනාකරණය කරමින්) නිර්මාණයක් බිහිකිරීමේ හැකියාව කෙමෙන් වර්ධනය වේ.

එදිනෙදා ජීවිතයේ තම තමන් කරන කටයුතුවල වැරදි දකින්නටත් ඒ වැරදි සකසාගෙන වඩාත් නිවැරදි හෙට දවසක් වෙනුවෙන් කැපවෙන්නටත් උත්සාහවත් වන සෑම අයෙකු තුලම ඩිසයින් චින්තනයේ ආභාසය තිබේ. ඒ උත්සාහය නැත්තෝ ඩිසයින් නොදනිති. ඉතින්, ඔබ ඩිසයිනර් කෙනෙක්ද?

https://www.facebook.com/AMSMJCBA/posts/10213462466775913

1 Like