සිංහලෙන් ඩිසයින් #04 [නිර්මාණ ඉතිහාසය]

නිර්මාණ ඉතිහාසය

ඩිසයින් වදනට ගැලපෙන සිංහල වදනක් නැතිකම පැරණි ලංකාවේ ඩිසයින් නොතිබූ බවෙහි ලකුණක් ලෙස හඳුනාගත යුතුද? නැතහොත් එකල තිබුණු යම් වදනක් දැන් බසින් අස් වී ගොස්ද? එසේත් නැත්නම් පෙර ලංකාවේ නිර්මාණකරණය භාෂාත්මක මැදිහත්වීමකින් තොරව ක්‍රියාව සහ පුහුණුව ඇසුරින් එළඹුණු ගූඨ ක්‍රියාවලියක් වීද?

ලංකාව එකළ රාජාණ්ඩු ක්‍රමය යටතේ විශිෂ්ට ඩිසයින් චින්තනයක් තිබුණු තැනක්. වර්තමානයේ ශිල්ප කලා, ක්‍රාෆ්ට් (Craft/ Handicraft), ආටිෆැක්ට් (Artifact) ලෙසින් හඳුනාගැනෙන්නේ එකල තිබුණු ඩිසයින් චින්තනයේ අවශේෂයි. ඒ කාලයට සහ අවකාශයට සාපේක්ෂව ඉහල නිර්මාණ බිහිවී ඇතිමුත් අද වන විට මේ ශිල්පීය නිර්මාණ බොහෝමයක් ඩිසයින් චින්තනයෙන් කෙරෙන ‘නවමු ආකාරයේ වැඩිදියුණු කිරීම් වලින් ප්‍රශස්ත බවට පත්කිරීම’ යන අරමුණින් බැහැරව ගොස් වෙළඳපල ආකර්ෂණය සහිත භාණ්ඩ සීමිත සංඛ්‍යාවක් නිශ්පාදනය කිරීමට සීමාවී සිටිනු දකින්නට ලැබෙනවා. ඒ පුරුද්දට යාම නිසා ශිල්පීන්ගේ චින්තනයෙහි ඩිසයින්මය දෘෂ්ටිය සහ අදාල හර පද්ධතිය අද වන විට ශුෂ්කව, වියළී ගොසින් ඇති බවක් පෙනෙනවා. එහෙයින්ම අද බොහෝ තැන්වල කෙරෙන ක්‍රාෆ්ට් ඩිසයින් යටතට ගත හැකිවන්නේ නැහැ.

අද මෙන් කටයුතු පහසුකරන උපකරණ බහුල නොවූ එකළ නිර්මාණකරණය ආශ්‍රිත හැකියාවන් හඳුනාගැනුනේ අතැඟිලි සහ අත් හැසිරවීමෙහි හුරුබුහුටි සුකර බව, ඒ ඇසුරෙහි නව සිතිවිලි අදහස් පහළ කළ හැකි බව වැනි කරුණු ඇසුරිනුයි. එකල තිබුණු අර්ථ ක්‍රමයේ සීමාකම් නිසා උපරිම ශක්‍යතාවය විදහා දක්වමින් වර්ධනය වන්නට අවකාශ නොලැබුන බවක් පෙනෙතත් රටපුරා විසිරී සිටි ශිල්පීන්ගෙන් හොඳම දක්ෂතා පෙන්වූවන් රජුගේ පට්ටල් හතරේ කාර්මික අංශයට බඳවා ගැනුණා. අපි ගැඹුරින් සොයා බලනවිට පෙනෙන්නේ මේ හතර පට්ටලේ නිර්මාණ ශිල්පීන් අනෙක් ශ්‍රේණිවල ශිල්පීන්ට වඩා ඩිසයින් චින්තනයට නැඹුරු බවයි.

එකල නිර්මාණ ශිල්පීන් සියලුදෙනා පොදුවේ හැඳින්වූයේ වඩුවන් නැතහොත් ආචාරීන් (සමහර තැනෙක වඩු ආචාරීන්) ලෙසයි. පැරණි සිංහල ජනකතා ජාතක කතා කියවා බලන විට ඒ සියල්ලේම පාහේ වාසස්ථාන නිර්මාණයේ සිට අහසින් යන අහස්යාත්‍රා නිපදවීම දක්වා වන සියලු නිර්මාණකරුවන් හඳුන්වා ඇත්තේ වඩුවා යන නමින් බව දත හැකියි. වඩු යනු වැඩීම/ වර්ධනය කිරීම පිළිබඳ අදහසයි. එනම් දැනටමත් ඇති යම් මූලික ප්‍රාථමික ස්වභාවයක් වැඩි වර්ධනය කරමින් ගොඩනැඟීමයි. අප පෙර ලිපියේ විමසූ පරිදි ‘යම් මූලික ස්වභාවයකින් ව්‍යුත්පන්න වී පැමිණීම’ හෙවත් de+sign යනුවෙන් ගැනෙන design වදනෙහි මූලික ලතින් ස්වරූපයෙන් කියැවෙන ආකල්පයත් මෙයමයි.

එසේනම්, ඩිසයින් යනු කිසිසේත්ම ලංකාවට ආගන්තුක දෙයක් නොවෙයි. සිදුවී ඇත්තේ වඩාත් පුළුල් ලෝක දැක්මකට අදාල වන පරිදි වදන් මාලාව වෙනස්වීම පමණයි.

https://www.facebook.com/AMSMJCBA/posts/10213356164958434